Friday, November 16, 2012

දෝෂාභියෝගය


ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉහලම අධිකරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය යි. එය පිහිටුවා ඇත්තේ, ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟිනි. එමඟින් පිහිටුවා ඇති ප්‍රධාන ආයතන තුන වන්නේ, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යි. ව්‍යවස්ථාදායක බලතල ක්‍රියාත්මක කරන්නේ මංත්‍රීන් 225 ස් දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුව තළිනි. එහි ප්‍රධානියා වන්නේ කථානායක තුමා ය. වර්තමාන කථානායක වන්නේ චමල් රාජපක්ෂ මහාතා ය. ජනතාවගේ විධායක බලතල ක්‍රියාත්මක කරන්නේ ජනතාව විසින් තෝරා පත්කර ලබන ජනාධිපතිවරයා විසිනි. වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ය. ජනතාවගේ අධිකරණ බලතල ක්‍රියාත්මක කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රමුඛ අධිකරණ පද්ධතිය තළින් ය. වර්තමාන අග විනිසුරුවරිය වන්නේ ශ්‍රිරානි බණ්ඩාරනායක මහත්මිය යි. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන බලතල ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රධාන බල කණු ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ නීතිය තුළ දෝෂාභියෝගය යනුවෙන් අදහස් වන්නේ ධූර දරණ ජනාධිපතිවරයෙකු හෝ උපරිමාධිකරණ විනිසුරුවරයෙකු හෝ පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු ධූරයෙන් නෙරපීම සඳහා ගන්නා වූ ක්‍රියාදාමය යි. වර්තමානයේ ඉදිරිපත් වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චකාරවරිය වන ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව යි. එය ඉදිරිපත් කරනු ලැබූවේ ආණ්ඩු පක්ෂයේ මංත්‍රීන් විසිනි. එයට මූලික පදනම වන්නේ වෂමාචාරය යි. එනම් අග්‍ර විනිශ්චකාර ධූරයට නොගැලපෙන හැසිරීම යි. ඒ අනුව ඇයට විරුද්ධව චෝදනා 14 ක් ඉදිරිපත් කර ඇති අතර එය විභාග කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ හා විරුද්ධ පක්ෂ මංත්‍රීන් 11 දෙනෙකුගෙන් සමන්විත තේරීම් කාරක සභාවක් පත්කොට ඇත. එහි ප්‍රධානත්වය දරන්නේ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් වන අතර එම තේරීම් කාරක සභාව 2012. 11. 14 දින රැස් වී දෝෂාභියෝගය පරීක්ෂා කර ඇත. එම චෝදනා වලට විත්තිවාචක ඉදිරිපත් කරන ලෙස දන්වා ඇති අතර 2012. 11. 23 වැනි දින පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා යවා ඇත. මේ සඳහා අග්‍ර විනිශ්චකාරවරියට අවශ්‍ය නම් නීතිඥ සහය ද ලබා ගත හැකි ය.

1 comment:

  1. අධිකරණයට අත තැබීෙම් විපාක ඔබ පසු පස ඒනු අැත.

    ReplyDelete

Welcome Comments..!!!