Thursday, February 28, 2013

විජය රජු

ක්‍රි. පූ. 543 - 505 - තම්මැන්නා නුවර - පාලන කාලය අවු. 38 යි.
විජය කුමරු සත් සියයක් පිරිවර සමඟ ක්‍රි. පූ. 543 වර්ෂයේ දී ලංකාවේ දැනට පුත්තලම නමින් හැඳින්වෙන ප්‍රදේශය සමීපයේ වෙරළට ගොඩබැස්සෝ ය. ඒ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ ය.
අධික වෙහෙස නිසා කලන්ත භාවයට පත් විජය කුමරු ඇතුළු පිරිස වෙරළේ අත් බිම ගසා බොහෝ වේළාවක් ගිමන් හැරියහ. ඔවුන්ගේ අත්ලතල තඹවන් වූ හෙයින් ඒ ගොඩබසින ලද නුවරට තම්මැන්නා යන නාමය යෙද වූ බවත්, සිංහයා මැරූ සිංහබාහු රජු හා සම්බන්ධ ඇති මේ කුමරා හා පිරිස සිංහල යන නමින් ප්‍රකට වූ බව මහාවංශයේ සඳහන් වේ.
විජය කුමරු පිළිබඳ මහාවංශ කතා ප්‍රවෘත්තිය ඇරඹෙන්නේ ඊසාන දිග ඉන්දියාවෙනි. වංග හෙවත් බෙංගාලයේ රජතුමාට රූමත් හිතුවක්කාර දියණියක් වූවාය. වැඩිවියට පත් වූ පසු සිංහයෙකු සමඟ සරණවෙතැයි අනාවැකියක් පැවති හෙයින් ඇය ඉතා ප්‍රවේශමෙන් රැකබලා ගනු ලැබුවා ය. එසේ වූවද කුමරිය රහසිගතව මාලිගයෙන් පලා ගොස් වයඹ රට බලායන තවලමක් සමඟ ගමන් ගත්තාය. තවලම ලාටරට වනාන්තරයකට ළඟා වූ විට එක් සිංහ රාජයෙක් තවලමට පහර දී කුමරිය රැගෙන පලා ගියේය.
සිංහයා නිසා සුප්පා දේවිය දරු දෙදෙනෙක් ලබුවාය. පුත් කුමරු වූ සිංහබාහු වැඩිවියට පැමිණි පසු සිය මව හා නැගණිය ද කැටුව වනාන්තරයෙන් පලා යයි. වියෝ දුකින් උමතු වන සිංහයා ගම් නියම් ගම් වනසන්ට පටන් ගනියි. අවසානයේ සිංහබාහු සිය නැගණිය විවාහ කර ගනී. ලංකාවේ ආදිම සිංහල රජු - විජය ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා වේ.
විජය හා 700 ක් පිරිස මෙරටට ගොඩබසින කාලයෙහි මෙහි වැස්සෝ යක්ෂ යන නාමයෙන් ප්‍රකට වූවෝය. විජයගේ සගයන් වශී කරගත් කුවේණිය නම් යකින්න විජයට මුණ ගැසේ. කුවේණිය පරදවා ඇගේ මායා බලයට අසු වූ සිය සගයන් බේරා ගැනීමට විජය සමත් වෙයි. විජය කුවේණිය සරණ පාවා ගනී. කුවේණියගේ ආධාරයෙන් විජය යක් රජුන් මරා දමා මුළු දිවයිනම අත් පත් කර ගනියි.
ඉක්බිති විජය රජුගේ ඇමතියෝ තැන තැන ගම්මාන පිහිට වූහ. අනුරාධ නම් ඇමතිවරයා අනුරාධ නම් ගමක් පිහිටු වීය. උපතිස් තෙමේ අනුරාධපුරයෙන් උතුරු දිග උපතිස්ස නම් ගමක් ඉදි කළේය. අනික් ඇමතියෝ දෙදෙනෙක් උරුවෙලාය, විජිතය යන ගම් දෙක පිහිටු වූහ. මෙසේ මුළු දිවයිනම අත්පත් කොට ගෙන ජනපද පිහිට වූ පසු විජය කුමාර තෙමේ වංශවත් කුමාරිකාවක් සරණපාවා ගෙන විධි වූ පරිද්දෙන් අභිෂේක ලැබ රාජ්‍යය කරන්නට කැමතිව දක්ෂිණ මධුරා නම් නුවර පඬි රජහුගේ දුව සරණ අසා යැවීය. පඬි රජ තෙමේ ඒ දූතයන් සතුටින් පිළිගෙන සිය දියණියන් හා තරුණියන් සමුහයක් ලංකාවට පිටත් කර යැවීය. ඒ සියලු දෙන නැවකින් පැමිණ මාන්තෝට්ටම නම් පටුනට ගොඩබැස්සෝය.
විජය කුමරා තෙම මධුරාපුරයේ පඬි රජහුගේ දියණියන් ආ බැව් අසා කුවේණියට තමා කෙරෙන් ඉවත්ව යන්නට කිය. ඒ වන විට විජය කුමරුට දාව කුවේණියට පුතෙක් ද දුවක් ද වූහ. ඇයට දරු දෙදෙනා ගෙන යා යුතු තැනක් නැති බැවින් ලංකා පුරයට ගියාය. දරුවන් පිටත හිඳුවා නුවරට ගිය කල නුවරට ගිය කල සතුරු බය ඇතිව සිටි ලංකාපුර යක්ෂයෝ කැළඹූණෝය. එක් රෞද්‍ර යක්ෂයෙක් එක් අතුල් පහරකින්ම කුවේණිය මැරුවේය. ඇගේ සොහොයුරෙක් නුවරින් පිට සිටි දරු දෙදෙනා දැක මව මරන ලද බව දන්වා ඔවුන්ට සැඟවි යාමට උදව් කළේය. ඔවුහු කඳු ප්‍රදේශයට පලාගොස් එහි වාසය කළ බව කියැවේ.
විජය කුමාර තෙමේ පඬි රටින් තරුණියන් තම ඇමති සමුහයාට සරණ පාවා දුන්නේය. ඇමතියෝ රැස්ව විජය කුමරු රාජ්‍යයෙහි අභිෂේක කළෝය. අටතිස් අවුරුද්දක් තාම්‍රපර්ණි නගරයෙහි රාජ්‍යය කොට ක්‍රිස්තු පූර්ව 505 දී මිය ගියේය.    

No comments:

Post a Comment

Welcome Comments..!!!