Monday, May 11, 2020

යෝධ ඇළ



ගැබ් ගත් එළිච්චියකගේ පිය සටහන් ඔස්සේ හැදූ යෝධ ඇළ පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120 කට දියවර ලබා දෙයි. මුල් සැතපුම් 17 දියබැස්ම සැතපුමකට අඟල් 6යි. දියකලි 48කින් අලි ඇතුන්ට ජලය ලබා දෙයි. කොන්ඩුපට්ටමාන් සෙල්ලිපිය මඟින් ජලය පිළිබඳ දස අණ පනවන ලදී.
අති පැරැණි යෝධ ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලා වැවේ සිට තිසා වැව දක්වා පිහිටු වූ දික් වැවක් යැයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර පන්දහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපි හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා හම්බ කළ ධනය පෙන්වන්නැ,,යි පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට මා රට - ජාතිය වෙනුවෙන් ඉපැයු ධනය පෙන්වන්නට මා සමඟ එන්න යයි,, පුතාට විධාන කොට තමන් ද අසු පිටට නැඟී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප්‍රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය.
කලාවැවේ උපතට මුල වී ඇති කලාඔය මහාවංශයෙන් හඳුන්වා ඇත්තේ 'ගෝන නදී' වශයෙනි. ප්‍රථම සියවස වන විට කලාවැව සහ බළලු වැව පැවැතියේ වැව් වශයෙන් නොව - විල් වශයෙනි. ටොලමි ලංකා සිතියම නිර්මාණය කළ යුගයේ මෙහි පැමිණි දේශාටකයෙකු වූත් 'ප්ලීනි' (Pliny) තැප්‍රබෝන් රටේ (ශ්‍රී ලංකාවේ) 'මෙගිස්බා' (Megisba) නමින් විලක් ගැන සඳහන් වේ. පසු කලක කලාවැව හා බළලු වැව බවට පත් වූයේ මේ විල් ය.
කලාවැව හා බැඳුණ කඩවර කතාවක් අදත් ජනප්‍රවාදයේ පවතී. එදා සිටි කඩවර අද කලාවැව රකින දෙවියන් ලෙස ද ජනතාව අදහති. කඩවර විසූයේ මහසෙන් රජු සහ වසභ රජු විසූ යුගවලදීය. වැව් බැඳි රටේ වැව් කප්පිත්තන් ලෙස සැලැකෙන්නේ වසභ මහ මහසෙන් රජවරුය. මේ නිසා කලාවැවේ ආරම්භය පළමුවැනි සියවසේ විසූ මහසෙන් රජු හෝ වසභ රජු විසින් කරන ලදැයි සැලකිය හැකිය. ධාතුසේන රජු විසූයේ පස්වැනි සියවසේදීය. ක්‍රි. ව. 459 සිට 477 දක්වා වසර 18ක කාලයක් ධාතුසේන රජු අනුරාධපුර අගනුවරේ රජකම් කරන ලදී. කලාවැව සහ බළලු වැව යා කොට විශාල වැවක් ලෙස ප්‍රතිනිර්මාණය කළේ ධාතුසේන රජුය.
කලාවැව සිට තිසා වැව දක්වා සැතපුම් 54ක් දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමා විසිනි. මෙහි ප්‍රථම සැතපුම් දහ හතේ දීය බැස්ම සැතපුමකට අඟල් 6කි. යෝධ ඇළ අපූර්ව නිර්මාණයක් ලෙස සැලකෙන එක් හේතුවක් එයයි. ගැබ් ගත් එලිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා ඇය පියවර තැබූ මඟ ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන යන ලදැයි ප්‍රදේශයේ ජනමතයක් ද පවතී. ධාතුසේන රජු රාජ්‍යයෙන් අත්මිදීමට වසර 7කට පෙර යෝධ ඇළ හදා අවසන් කළ බව මහාවංශයේ දැක්වේ. යෝධ ඇළ දෑලේ වර්ග සැතපුම් 180ක් පුරා විහිදුණ කෙත් යායවල් ඉදිකොට වපසරිය අක්කර 114000කට එල්ලංගා පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120කට දියවර සැපයීමකට එදා යෝධ ඇළ සමත් වූ බව ඉතිහාසයේ දැක්වෙයි.
මහසෙන් රජු විසින් ඉදිකරන ලද මිනිපේ - ඇළහැර - යෝධ ඇළ ප්‍රථම සියවසේදී ඉදිවී තිබේ. යෝධ ඇළ සංකල්පයේ ආරම්භය මෙය විය හැකිය. අතීත වාරි පද්ධතිය අධ්‍යයනය කරන විට සිරුර පුරා රුධිර නාළ පද්ධතිය පැතිරී ගොස් සිරුර ආරක්ෂා කරන්නාක් මෙන් යෝධ ඇළ නමින් හඳුන්වන ලද වාරි පද්ධතිය රජරට පුරාවට පැතිරී ගොස් රජරට සියලු ප්‍රදේශ සංවර්ධනය කර තිබේ. ජලය වැඩි ද්‍රෝණියේ සිට ජලය අඩු ද්‍රෝණියට ජලය ගෙන යාම - වැවකින් වැවකට ජලය ගෙන යාම - අතිරික්ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙන යාම වැනි දියවර හුවමාරු අවශ්‍යතා යෝධ ඇළ සංකල්පය මඟින් අතීතයේදී ඉටුකර ගෙන තිබේ. මෙය ස්වභාව ධර්මය විසින් ඉටුකර නොදුන් දෙයක් මිනිසා විසින් ජය ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය.
දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී දඹුලු ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔයේ යටත්තාවට යෝධ ඇළක් කපා තිබේ. මල්වතු ඔයේ සිට මහකනදරා වැවට යෝධ ඇළක් මඟින් දියවර ගෙන ගොස් ඇත. යෝධ ඇළවල් සියල්ල ගමන් කර ඇත්තේ ජල අධික ද්‍රෝණියක සිට ජල හීන ද්‍රෝණියකටය.
ක්‍රි. ව. 290 දී මහසෙන් රජු විසින් බළලු විලේ සිට උස්ගල සියඹලන්ගමුව දක්වා යෝධ ඇළක් කපා දියවර ගෙන ගොස් උස්ගල සියඹලන්ගමුව වැවේ ජලය ගබඩා කර ඇත. කලාවැව යෝධ ඇළෙන් සහ අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට දියවර ගෙන යාම සඳහා යෝධ ඇළක් කපා තිබේ. නුවර වැවට දියවර ගෙන යාම සඳහා නාච්චාදූව වැවේ සිට යෝධ ඇළක් කපා ඇත. වැවකින් වැවකට ජලය ගෙන ගිය අනෙක් යෝධ ඇළ වන්නේ කලා වැවේ සිට තිසා වැවට දියවර ගෙන ගිය යෝධ ඇළයි. ද්‍රෝණියේ වැඩි වතුර මුහුදට ගලා යා නොදී රජරට තුළම රඳවා ගැනීම යෝධ ඇළ සංකල්පයේ ප්‍රධාන අරමුණ වේ. රජරට පුරාවට වැව් හැදුවාක් මෙන් මෙම වැව් සහ ද්‍රෝණි ඒකාබද්ධ කරමින් යෝධ ඇළවල් ඉදිකිරීමට පෙර රජදරුවන් උනන්දු වී ඇති නමුත් අද වන විට මෙම යෝධ ඇළ වැඩි කොටසක් නටබුන් වී ගොස් ඇත.
ධාතුසේන රජතුමන් යෝධ ඇළ ඉදිකිරීමෙන් වසර හත් සීයකට පමණ පසු පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම යෝධ ඇළ ප්‍රතිසංස්කරණය කරමින් පුළුල් කොට මෙයට 'ජය ගංගා' යයි නම් කරනු ලැබීය.
යෝධ ඇළේ හෙවත් ජය ගංගාවේ බැම්ම හරියටම වෑ බැම්මකට සමානය. මෙහි බැම්ම යොදා ඇත්තේ යටි පැත්තෙන් පමණි. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමකි. කලා වැව සිට තිසා වැව දක්වා පැවැති මහාකණුමුල්ල - මානෑව - කිරලෝගම - කිරිවැල්හීන්න වැනි එල්ලංගා 34ක ජලය ගලා ආවේ මෙම යෝධ ඇළටය. එල්ලංගාවල ජලය - වැසි ජලය - කලා වැවේ ජලය මේ සියල්ල යෝධ ඇළට එක්රැස් වූ විට එය නිතර වැවක් සේ වතුර පිරී පැවතිණි. යෝධ ඇළෙන් පහළ පැවැති කෙත්වතුවලට පමණක් නොව යෝධ ඇළෙන් ඉහළ පැවැති කෙත් වතු හා එල්ලංගාවලට ද මෙයින් ජලය ලබා දී ඇත. මහකණුමුල්ල එල්ලංගාව ඔස්සේ අයියතාගම - ඉහළ වැව - මරිකාරගම - පහළ වැව - ඉහළ අමනක් කට්ටුව යන වැව්වලට අතුරු යෝධ ඇළක් කපා දියවර ලබා දී ඇත. අද මෙය අභාවයට ගොස් ඇති නිසා ඉහත කී වැව්වලට ජලය ලැබෙන්නේ නැත.
යෝධ ඇළ නිසා පරිසරය මැනවින් සංරක්ෂණය විය. වැව්වලට උඩතින් යෝධ ඇළ ගමන් කිරීම නිසා වැව්වලට රොන් මඩ ගලා ඒම වැළකී තිබිණි. වැව්වල වතුර පාලනය කරමින් වැඩි වතුර ඒම වළක්වා තිබිණි. මහ කන්නයේදී වැසිවලින් යෝධ ඇළට එකතු වන ජලය - අවශ්‍ය වැව් කරා ගෙන ගොස් ජලය බෙදා දී ඇත. ඇළ වංගු තුළ පිහිටුවා ඇති දියකලි 48ක් යෝධ ඇළ පුරාවට තිබිණි. අවුරුද්දේ හැමදාටම වනගත සතා සීපාවගේ හා අලි ඇතුන්ගේ ජල අවශ්‍යතා මෙම 'දියකලි' මඟින් සපුරා ගැනිණි.
කඩිනම් මහවැලිය මඟින් ජය ගඟක් අලුතෙන් ඉදිකිරීම නිසා පැරැණි යෝධ ඇළේ කොටසක් එනම් මහඉලුප්පල්ලම සිට බටුවත්ත දක්වා වූ කිලෝ මීටර් 15ක් පමණ දුරැති කොටස භාවිතයෙන් ඈත් කිරීම නිසා අභාවයට පත් විය. අලුත් ජය ගඟ ගමන් කිරීමේදී සමහර තැනක පැරැණි යෝධ ඇළ මැදින් කපාගෙන ගොස් ඇත. එවැනි තැන්වල අද යෝධ ඇළක් නැති තරම්ය. සමහර තැන්වලදී අලුත් ජය ගඟ ගමන් කර ඇත්තේ පුරාතනයේ ඉදිකර තිබූ වැවෙන් වැවටය.
අලුත් ජය ගඟ සමහර තැනකදී එක එල්ලේම වේගයෙන් ගලා යයි. එවැනි තැන්වල ජයගඟ අඩි පනහ හැට තරම් ගැඹුරට කපා තිබේ. ජයගඟ මෙසේ ගැඹුරට කැපීම නිසා අද වන විට ජය ගඟ දෑලේ පිහිටි බොහෝ ගම්මාන වේළී ගොස් ජල හිඟයකට මුහුණ පා ඇත. ඇතැම් ගම්වලට පානීය ජලය ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත. එසේ වේගයෙන් ජය ගඟ ගලා යාම නිසා - එය සම්බන්ධ කර ඇති වැව් වඩාත් ඉක්මනින් රොන්මඩවලින් පිරී යයි. දැනටමත් කිරිඅමුණකොලේවැව - කෝන්වැව - කිරලෝගම වැව යන වැව් අධික ලෙස රොන්මඩවලින් පිරී පවතී. නව ජය ගඟ නිසා පාරිසරික පද්ධතීන් බොහෝ දුරට විනාශ වී ගොස් ඇත. 1975 මැද භාගයේදී මෙම නව ජය ගඟ ඉදිකිරීමට මඟ පෙන්වූ වාරි ඉංජිනේරු මහින්ද පනාපිටිය මහතා නව ජය ගඟ නිර්මාණය කිරීමෙන් තමා අතින් බරපතළ හානි සිදුවී ඇති බව මෑතකදී ආර්ථික විමසුම නමැති සඟරාවට පාපොච්චාරණයක් කරමින් කියා සිටී. ඔහු නැවත මෙය නිවැරැදි කිරීමට මහත් කැමැත්තෙන් සිටී.
පැරැණි යෝධ ඇළ තුළ මේ නව ජය ග‍ඟේ දුර්ගුණයන් කිසිවක් නැත. යෝධ ඇළෙන් රටට‍ හා ජනතාවට සිදුවූ මෙහෙවර බොහෝය.
යෝධ ඇළ ගලා ගිය ප්‍රදේශය පුරාවට භූගත ජලය උස් මට්ටමකින් පවත්වාගෙන යාමට හැකි විය. මේ නිසා යෝධ ඇළ ආශ්‍රිතව සශ්‍රීක වැව් ගම්මාන රැසක් බිහි විය. භූගත ජලයෙන් පෝෂණය වූ පාරිසරික පද්ධතියක් නිර්මාණය විය.
වාපි ශිල්පයේ අඳුරු වැව් පෝෂණය කිරීමට හැකි විය. වාෂ්පීකරණය පාලනය කිරීම සඳහා ඇළ - දෑල ගහකොළවලින් බරිත විය. වැසි කාලයේ දී එකතු කර ගන්නා ජලය නියං කාලයේදී වැව්වලට මුදා හැරීමට හැකි විය.
ඇළ වංගුවල පිහිටි 'දියකලි' සදාකාලික දිය උල්පත් විය. එදා යෝධ ඇ‍ළ යෝධයෙකු සේ රජරට මැද හිටගෙන ජනතාව හා ගම්බිම් පෝෂණය කරනු ලැබීය.
මෙම අපූර්ව නිර්මාණය ඉදිරි පරපුර වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව ප්‍රදේශයේ ජනතාව නිතර පෙන්වා දෙති. එසේම මෙය ජාතික උරුමයක් වශයෙන් ද ලෝක උරුමයක් වශයෙන් ද සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතුව තිබේ.
ඉපැරැණි යෝධ ඇළ පුනරුත්ථාපනය කරමින් සංරක්ෂණය කිරීම සැබැවින්ම යුගයේ ජාතික මෙහෙවරකි. ක්‍රි. ව. 1200 දී පමණ මහ පැරකුම්බාවන් විසින් ප්‍රථම වරට යෝධ ඇළ ප්‍රතිසංස්කරණය කරන ලදී. ඊළඟට දෙවැනි වර මේ යෝධ ඇළ ප්‍රතිසංස්කරණය තවමත් කිසිවකු අත තියා නැති නමුත් ජේ. ආර්. ජයවර්ධන යුගයේදී ධාතුසේන රජතුමාගේ ආශ්චර්යවත් යෝධ ඇළ අභාවයට යන්නට හැර ඒ වෙනුවට මහවැලි ජලය රජරටට ගෙන යන්නට 'අලුත් ජය ගඟක්' නිර්මාණය කරනු ලැබීය. මෙය වූ කලී ධාතුසේන රජතුමා පමණක් නොව දේශීය විශ්ව කර්ම වාපි ශිල්පය ද සාහසික ලෙස විනාශ කර දැමීමකි. අදත් අපේ ඓතිහාසික උරුමය වූ යෝධ ඇළ කැලෑ ගත විය. ජරාවාස වී අනවසරකරුවන් අල්ලාගෙන අභාවයට ගොස් ඇත.
නාගයා ශුද්ධ වස්තුවකි. මේ නිසා දෙවියන් නාගයාට ආරූඪ වී සිටිතියි පැරැණියෝ ඇදහූහ. ඒ අනුව නාග වෙස් ගත් දෙවිවරු නිධාන - දේපොළ - වෙහෙර විහාර රැකීමේ යෙදී සිටිතියි විශ්වාස කරති. ජලය ද එබඳු මහාර්ඝ සම්පතකි. මේ නිසා ජලය රැකීමට ද නාග සංකේතය යොදාගෙන ඇත. පෙරදා වැවක් හැඳු තැන නයි පෙණ සංකේතයක් යොදා ඇත්තේ එබැවිනි. තේරුමක් දැන හෝ නොදැන මහවැලිය ද අද සංකේතයට යොදාගෙන ඇත්තේ නයි පෙණයයි.
රජරැටියාගේ ජීවිතය රැකුණේ ජලය නිසා ය. ඒ නිසා ජලය දේවත්වයෙන් සැලකූහ. ජලය අති පූජනීය වස්තුවක් ලෙස පිදූහ. ජලයට ගරු බුහුමන් දැක්වූහ. දැනට අම්පාර දිසාපති කාර්යාලයේ සුරක්ෂිතව තබා ඇති 'කොන්ඩු පට්ටමාන්' සෙල්ලිපිය මීට හොඳම උදාහරණයකි. සිරිසඟබෝ රජුගේ සහ දිවි ගොන් රැජිනගේ පුත් දප්පුල රජු විසින් දස අණක් සහිත මෙම සෙල්ලිපිය සකස් කර ඇත. එයින් කියවෙන්නේ ජලය පරිහරණය කරන අන්දමයි.
මෙහි තහංචි දහයක් පනවා ඇත. දියපත්තායම් තහංචිය - භූදිය තහංචිය - මඩකලු තහංචිය ආදි වශයෙන් තහංචි දහය හඳුන්වා ඇත. එයින් සනාථ වන්නේ එකල ද මනා ජල කළමනාකරණයක් පැවැති බවයි. යෝධ ඇළ ඉදිකර ඇත්තේ ද ඒ තහංචි නොඉක්මවන අන්දමිනි.
විශේෂයෙන් යෝධ ඇළේ පිටතට වතුර දෙන හැම හොරොව්වක්ම යොදා ඇත්තේ පතුලෙන් නොව - පතුලට අඩි තුනක් පමණ ඉහළිනි. ඊට හේතු වී ඇත්තේ යෝධ ඇළ පතුලේ ජලයට ලවණ - ඛනිජ ආදිය මුහු වී තිබීමය. එවැනි ජලය පැළ ගොයමට හොඳ නැත. ඒ නිසා හැකිතාක් උඩතින් අලුත් වතුර කුඹුරුවලට මුදා හැරීම සඳහා උඩතින් හොරොව් තබා ඇත. ජල කළමනාකරණය හා ජලයේ ගුණ අගුණ පිළිබඳ මනා අවබෝධයකින් යෝධ ඇළ නිර්මාණය කර ඇති බව පෙනේ.
මේ නිසා යෝධ ඇළ පැවැති තත්ත්වයෙන්ම පුනරුත්ථාපනය කිරීමෙන් යෝධ ඇළ පමණක් නොව යෝධ ඇළ හා බැඳී පවත්නා දේශීය වාරි ශිෂ්ටාචාරය ද සංරක්ෂණය වේ.

ආචාර්ය පී. බී. ධර්ම­සේන සමඟ
එප්පාවල බණ්ඩාර ඒකනායක කළ
සාකච්ඡාවක් ඇසුරෙනි.




v     
v     
v     
v     
v     
v     
v     








Saturday, May 9, 2020

පළාත් පුෂ්ප Provincial Flowers

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මහනෙල් මල වූවත් එක් එක් පළාතක් නියෝජනය කිරීම සඳහා ඊට අනන්‍ය වූ පුෂ්ප ද පවතී. ශ්‍රී ලංකාවේ පළාත් නවයකි (09). එබැවින් පළාත් පුෂ්ප නවයක් තිබේ.

උතුරු මැද පළාත
-
ඇසළ
සබරගමුව පළාත
-
වෙසක් මල
බස්නාහිර පළාත
-
සුදු නෙළුම
මධ්‍යම පළාත
-
මහ රත්මල්
දකුණු පළාත
-
හීන් බෝවිටියා
ඌව පළාත
-
ගුරුළු රාජ
උතුරු පළාත
-
වල් පිච්ච /විෂ්ණු ක්‍රාන්ති
නැගෙනහිර පළාත
-
ගොඩ මානෙල්
වයඹ පළාත
-
ඇට්ටේරියා

බස්නාහිර පළාත් පුෂ්පය
පුෂ්පය                 -       සුදු නෙළුම්
විද්‍යාත්මක නාමය    -       Nelumbo Nucifera Gaerth
කුලය          -               Nelumbonaceae

බස්නාහිර පළාත් පුෂ්පය වන සුදු නෙළුම් පුජනීය මලක් ලෙස සැලකෙන අතර ශ්‍රී ලාංකීය සිතුවම් හා කැටයම් ශිල්පයේ දී ද නෙළුම් මල නොඅඩුව දැක ගත හැකිය. නෙළුම්   මල විවිධ විවිධ නම් වලින් හඳුන්වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් “Lotus” හා “Sacred Been”       යන නම් වලින් හඳුන්වයි. සුදු පැහැති මලේ මැද කහ පැහැති කුඩා රේණු දැකිය හැක. ජලජ පැළෑටියක් වන සුදු නෙළුම් සුදු හා රතු පැහැයෙන් දැකගත හැකි වේ. සුදු නෙළුම් පහත රට වියළි කලාපයේ මෙන්ම තෙත් කලාපයේ ද බහුලව දැක ගත හැකිය. මලේ විෂ්කම්භය සෙන්ටිමීටර 12ත් 15ත් අතර වේ. මෙම පුෂ්ප ද්විලිංගිකය. මේවා වැඩියෙන් පිපෙන්නේ පෙබරවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළයි.
ආසියානු උෂ්ණ කලාපයේ සහ ඊසාන දිග ඕස්ට්‍රේලියාවේ ද , ඉන්දියාව, චීනය, ටිබෙට ය, ජපානය වැනි රටවල ද සුදු නෙළුම් දැක ගත හැකි වේ. පූජනීය වශයෙන් බෞද්ධයන් අතර පමණක් නොව හින්දූන් අතර ද නෙළුම් මල් ජනප්‍රියත්වය ක් උසුළයි.
ඖෂධීය වශයෙන් ද වැදගත්කමක් උසුළන අතර අල සහ බීජ ආහාරයට ගනී.

සබරගමු පළාත් පුෂ්පය
පුෂ්පය                 -       වෙසක් මල
විද්‍යාත්මක නාමය    -       Dendrobium Maccarthiae
කුලය                           -           Orchidaceae

මෙම ශාකය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාකය කි. එසේම දුරලභ ගණයේ ශාකය කි. උඩවැඩියා විශේෂයට අයත් ශාකයකි. මෙය බොහෝවිට තෙත් කලාපීය වනාන්තර වල වැවෙන නිසා සිංහරාජයේ හා සිරිපා අඩවියේ බහුලව දැකිය හැක. ඒක බීජ පත්‍ර ශාකයක් වන මෙයට මුදුන් මුලක් නැත. මෙම පැළෑටිය වර්ධනය වන්නේ ගස් කඳන් වලයි. වෙසක් මල සුදු පැහැයට හුරු දම් පැහැයක් ගනී. එක ඉත්තක මල් 10 -50 පමණ සෑදෙන අතර මාසයක් පමණ මෙම මල් පරවන්නේ නැත. මෙම පැළෑටියේ බීජ ව්‍යාප්ත වන්නේ සුළඟ මගිනි. මෙම මල් වැඩි වශයෙන් පිපෙන්නේ වෙසක් මාසය තුළයි.

උතුරු මැද පළාත් පුෂ්පය
පුෂ්පය                 -       ඇහැළ
විද්‍යාත්මක නාමය    -       Cassia Fistula (L)
කුලය                           -           Febacae

උතුරු මැද පළාත් පුෂ්පය වන ඇසළ ගසේ මල් හටගැනීම ආරම්භ වන්නේ පෙබරවාරි මාසයේදීය. අගෝස්තු මාසය වන විට මේ මල් සියල්ල හැලී අවසාන වේ. කඩාහැලෙන පොකුරු ලෙස පිපෙන මෙම මල් කිනිති ගසේ කොළ නොපෙනෙන තරමට සෑදේ. ඒ නිසා ඈතට සම්පුර්ණ ගසම කහ පාටින් දිස්වේ. ඉංග්‍රීසි භාෂාවෙන්  “Showers of Gold” යනුවෙන් ද දෙමළ භාෂාවෙන් “Tirukkontail” යනුවෙන් හැඳින්වේ.
මෙම ශාකය මධ්‍යම ප්‍රමාණයෙන් යුතු වේ. ගසේ පොත්ත අළු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී. ඖෂධීය වටිනාකමකින් යුතු මෙම ශාකය බොහෝවිට වැවෙන්නේ වියළි කළාපය තුළයි. දකුණු ආසියාවට ආවේණික ශාකයක් වන ඇසළ ගෘහස්තවත් උද්‍යාන අලංකරණයටත් යොදා ගනී. විවිධ දැව නිර්මාණයන් කිරීමට මෙම ශාකයේ කඳ යොදාගන්නේ එහි අරටුව ශක්තිමත් බවින් වැඩි නිසාවෙනි. ශාකයේ මුල් සහ කරල් ඖෂධ වශයෙන් යෙදා ගනී.
ඇසළ පෙරහැරේ කප් සිටුවීමේ මංගල්‍යට ඇසළ ගස භාවිත කරයි. සිංහල මාස ක්‍රමයට අනුව ජූලි මාසය ඇසළ මාසය ලෙස නම් කෙරේ.

මධ්‍යම පළාත් පුෂ්පය
පුෂ්පය                 -       මහ රත්මල්
විද්‍යාත්මක නාමය    -       Rhododrendran Arbareum Var Zeylanicum
කුලය                           -           Ericaceae
       
මහරත්මල් දැකිය හැක්කේ මුහුදු මට්ටමේ සිට මීටර් 1700 2300 වඩා උස් ප්‍රදේශ වලයි. පතන භුමි වලදී මෙම ශාකය අඩි 2ත් 3ත් අතර උසකට වර්ධනය වේ. නමුත් වනාන්තර වලිදී මෙය අඩි 10ක් පමණ උසකට වැවේ. ශීත කලාපයේ වැවෙන මෙම ශාකය වැඩිපුරම දැකිය හැකි වන්නේ පට්ටිපොළ, හෝර්ටන් තැන්න, සිතාඑළිය ආදී ප්‍රදේශ වලයි. මහරත්මල් මල තද රතු පැහැයක් ගන්නා අතර පිපෙන්නේ පොකුරු ලෙසයි. එක පොකුරක මල් 10ක් 20ක් අතර ප්‍රමාණයක් දක්නට ලැබේ. පෙබරවාරි සිට ජුනි දක්වා කාලයේ මල් පිපේ.
        ගෘහස්ත වගාවට මෙන්ම ඖෂධ වශයෙන් ද මෙම ශාකය භාවිත කෙරේ.

දකුණු පළාත් පුෂ්පය
පුෂ්පය                 -       හීන්බෝවිටියා මල
විද්‍යාත්මක නාමය    -       Obbeckia Octondra
කුලය                           -           Melastomataceae

මෙය අපේ රටට ආවේනික පැළෑටියකි. මෙය වර්ධනය වන්නේ අතු බෙදී පඳුරක් ආකාරයටයි. ශාකය ශක්තිමත් බවින් අඩුය. මෙම ශාකයේ පත්‍ර වල බූව ඇත. ශාකයේ පොත්ත තද දුඹුරු පැහැයක් ගනී. හීන් බෝවිටියා මල ලා දම්පාට වන අතර මැද කහපාට රේණු දැකිය හැක. අලංකාර මලක් වන මෙය පෙති පහකින් යුතු වේ. මෙම ශාකයේ ගෙඩි පළතුරක් ලෙස ගන්නා අතර දලු කැඳ සෑදීමට යොදා ගනී. විවිධ රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීමට ඖෂධයක් ලෙස මෙය භාවිත කරයි.

ඌව පළාත් පුෂ්පය
පුෂ්පය                 -       ගුරුළුරාජ
විද්‍යාත්මක නාමය    -       Rhynchostylis Retusa Blume
කුලය                           -           Orchidaceae

උඩවැඩියා විශේෂයට අයත් වන ගුරුළුරාජ මල් සුදු හා දම් පාටින් යුක්ත වේ. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් “Fox Tail Orchid” ලෙස හැඳින්වේ. වන සත්ත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත පැළැටි විශේෂයක් ලෙස නම් කර තිබේ. එමෙන්ම තර්ජනයට ලක් වූ ජීවීන් අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ දෙවන කාණ්ඩයට මෙම මල ඇතුළත් කර ඇත.
        මෙම ශාකය පඳුරු ආකාරයෙන් වැඩෙන අතර උඩවැඩියා විශේෂයට අයත් වේ. මල් පොකුරු ආකාරයෙන් පිහිටන අතර නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ ගුරුළුරාජ මල් දැක ගත හැකි වේ.
        ඉතා දුර්ලභ වූ මෙම උඩවැඩියා විශේෂය ලංකාව හැරුණු විට ඉන්දියාව, මැලේසියාව, බුරුමය සහ ජාවා යනරටවල දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ ඌව සහ නැ‍ගෙනහිර පළාත්වල විශාල ගස් අතර වැඩෙන මෙම ශාකය වඳවීමේ තර්ජනයට ලක් වී තිබේ. ගෘහ අලංකාරයට මෙන්ම ඖෂධ වශයෙනුත් මෙම මල් වැදගත් වේ.

උතුරු පළාත් පුෂ්ප
උතුරු පළාත සඳහා වල් පිච්ච හා විශ්නුක්‍රාන්ති යන මල් යෝජනා වී තිබේ.

පුෂ්පය                 -       වල් පිච්ච
විද්‍යාත්මක නාමය    -       Jasminum Angustifolium
කුලය                           -           Oleaceae

        ආගමික කටයුතු සඳහා යොදා ගන්නා වල් පිච්ච වෑකන්ද යනුවෙන් ද හඳුන්වනු ලැබේ. මෙම ශාකය වැල් සහිතව මෙන්ම පඳුරු සහිතව ද හට ගැනේ. වල් පිච්ච යනු සුදුපැහැති හීනි දිගටි පෙති ඇති කුඩා මලකි. අධික සුඟන්ධයකින් යුතු මෙම මල් අතු රිකිලි අතර හට ගනී. පෙබරවාරි, අප්‍රේල් සහ සැප්තැම්බර් මාස වල මල් හට ගනී. පහත රට වියළි කලාපයේ බහුලව දැක ගත හැකි අතර දකුණු ඉන්දියාවේ ද මෙම මල් දැකිය හැකිය.  මෙම මල් පූජා කටයුතු සඳහා භාවිත කරන අතර මුල් ඖෂධ සඳහා යොදා ගනී.

පුෂ්පය                 -       විෂ්ණුක්‍රාන්ති
විද්‍යාත්මක නාමය    -       Evalvulus Alsinodes (L)
කුලය                           -           Convolvulaceae

        දෙමළ භාෂාවෙන් විෂ්ණු කිරන්දි නමින් හැඳින්වෙන මෙම ශාකය ඖෂධීය වටිනාකමකින් යුක්ත ය. කුඩා පඳුරු ආකාරයට හට ගන්නා මෙහි මල් ඉහලට එසවුණු ආකාරයෙන් පවතී. නිල් පැහැයෙන් යුතු මෙම මල් කිනිත්තක ආකාරයෙන් ඇත. පෙති 5කින් යුතු මලේ මැද සුදු පැහැති පරාග දැකිය හැක. දැනට හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ විළි හා අතරමැදි කලාපයේ පහත්බිම් ආශ්‍රිතව මෙම ශාක ව්‍යාප්තව ඇත.
        ඖෂධීය වශයෙන් පාචනයේ දී හා මානසික රෝගවල දී ඇදුම රෝගයට ද යොදා ගනී.


නැගෙනහිර පළාත් පුෂ්පය
පුෂ්පය                 -       ගොඩමානෙල්
විද්‍යාත්මක නාමය    -       Crinum Zeylanicum
කුලය                  -       Amaryllidaceae

සිංහල භාෂාවෙන් තොලබෝ සහ නරි මානෙල් යන නම් ද ගොඩ මානෙල් සඳහා යොදා ගනී. දෙමළ භාෂාවෙන් “Vichamunkil” ලෙස ද, සංස්කෘත භාෂාවෙන් චක්‍රාංගී, සෝමවල්ලී ලෙස ද, හැඳින් වේ.
නැගෙනහිර පළාත් පුෂ්පය වන ගොඩ මානෙල් මල පුනීලයක හැඩයක් ගනී. මෙම මල පිපෙන්නේ පොකුරු ලෙසයි. මලේ පැහැය සුදු පාට වන අතර දම් පාට ඉරි පෙති වල දැකිය හැක. අගෝස්තු සිට පෙබරවාරි දක්වා කාලය තුළ සවස් කාලයේ මල් පිපේ. වියළි කාලගුණයක් සහිත ප්‍රදේශ වලින් හොඳින් වර්ධනය වන මෙහි පැළ හටගන්නේ භූගත කඳකිනි. වැව් හා දිය කඩිති ආශ්‍රිතව දැක ගත හැකි වේ. මෙය ඖෂධයක් ලෙස කනේ අබාධ සඳහා යොදා ගනී.


වයඹ පළාත් පුෂ්පය

පුෂ්පය                 -       ඇට්ටේරිය
විද්‍යාත්මක නාමය    -       Murraya Paniculta (L) Jack
කුලය                           -           Rutacea


      මෙම ශාකය ඖෂධීය වශයෙන් ඉතා වැදගත් වූවක් ලෙස හඳුන්වයි. ආයුර්වෙද බෙහෙත් වට්ටෝරුවල දී සුරබි, සීසප හා යාපුරං යන නම්වලින් හඳුන්වයි. ශාකයේ ස්වභාවය ගත් විට ගස මීටර් 5ක් පමණ උසට වැඩෙන අතර පඳුරු ස්වභාවයක් ගනී. පත්‍ර දෙහි කොලයක හැඩය ගන්නා අතර රාත්‍රී කාලයේ පිපෙන මල් සුදු පැහැයෙන් යුක්ත ය. ඇට්ටේරියා මල් සෞම්‍ය සුවඳකින් යුක්ත ය. ඉන් අවට ප්‍රදේශයම සුවඳවත් වේ.

        මෙම ශාක පහතරට වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන්ම පහත රට මෝසම් වැසි වනාන්තරවල වැඩි වශයෙන් දක්නට ලැබේ. ඇට්ටේරියා බහුල වශයෙන් ගෘහස්තව වගා කරයි. ශාක කඳ ගෘහ කර්මාන්තයේ දී කැටයම් කැපීම භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගනී. ශාක පොතු සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමටත් පොත්තේ යුෂ ආහාර ජීර්ණය පහසු කිරීමටත් යොදා ගන්නා ඔසුවක් ලෙස නම් කෙරේ.